Saturday, August 29, 2015

මූල්‍ය ගිණුම්කරණය හා කළමණාකරන ගිණුම්කරණය..

විශේෂයෙන් ගිණුම්කරණ තොරතුරු භාවිතා කරන්නන්ගේ විවිධ අවශ්‍යතා හේතුවෙන් ගිණුම්කරණය කොටස් දෙකකට වර්ග කරයි. මුල් කාලයේදී එය මූල්‍ය ගිණුම්කරණය, පිරිවැය ගිණුම්කරණය සහ කළමණාකරණ ගිණුම්කරණය ලෙස කොටස් තුනකට වර්ග කලත් පසුව පිරිවැය ගිණුම්කරණයද කළමණාකරණ ගිණුම්කරණයේ උපාංගයක් ලෙස හදුනාගැනීමෙන් අනතුරුව එය කළමණාකරන ගිණුම්කරණයට ඇතුලත් කරන ලදී.


මූල්‍ය ගිණුම්කරණය යනු ව්‍යාපාරයක ගතවූ කාලපරිච්ඡේදයක් වෙනුවෙන් එම කාලපරිච්ඡේදයව් තුල ඇති වූ සත්‍ය ගණුදෙනු හා සිද්ධීන් පදනම් කරගෙන සකස් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන සමූහයයි. අභ්‍යන්තර පාර්ශවයන් විසින් මූල්‍ය ප්‍රකාශන සකස් කර භාවිතා කලත්, ප්‍රධාන වශයෙන් මෙය ව්‍යාපාරයේ බාහිර පාර්ශවයන් වෙනුවෙන් සකස් කරනු ලබයි.

කළමණාකරන ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණයෙන් වෙනස් ස්වරූපයක් ගනී. එය ව්‍යාපාරයේ කළමණාකරුවන් විසින් අනාගත තොරතුරු පදනම් කරගෙන ව්‍යාපාරයේ වර්ධනය හා පැවැත්ම සහතික කිරීම වෙනුවෙන් සකස් කරනු ලබයි. මෙම තොරතුරු භාවිතා කරන්නේ අභ්‍යන්තර පාර්ශවයන් පමණි.

මූල්‍ය sගිණුම්කරණයේ සහ කළමණාකරන ගිණුම්කරනයේ වෙනස්කම් පහත පරිදි දැක්විය හැක.


මූල්‍ය  ගිණුම්කරණය
කළමණාකරණ ගිණුම්කරණය
1. අතීත තොරතුරු පදනම් කරගනී.
2. ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශවයන් වෙනුවෙන් සකස් කරයි.
3. ඉදිරිපත් කිරීමේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය කළ යුතුය.
4. වර්ෂයක් වෙනුවෙන් සකස් කරයි.
1. විභව (අනාගත) තොරතුරු පදනම් කරගනී.
2. තොරතුරු භාවිතා කරන්නේ අභ්‍යන්තර පාර්ශවයන් වේ.
3. කළමණාකරන අවශ්‍යතාවයන් අනුව සකස් කරයි.
4. කාලයද කළමණාකරන අවශ්‍යතාවන් අනුව වෙනස් වේ.


ගිණුම්කරණ තොරතුරු සැපයීමේදී ඒවායේ ගුණාත්මකභාවය පිලිබද සැලකිලිමත් වීම ඉතා වැදගත් කරුණකි. ඒ අනුව ගිණුම්කරණ තොරතුරක පහත සදහන් ගුණාත්මක ලක්ෂණ අන්තර්ගත විය යුතුය.


  1. නිවැරදි බව.
  2. අවබෝධ කරගතහැකි බව.
  3. සැසදිය හැකි බව.
  4. සරල බව.
  5. සම්පූර්ණ බව.
  6. අදාල බව.


ඉහත සදහන් ගුණාත්මක ලක්ෂණ වලින් යුතු ගිණුම්කරණ තොරතුරු ව්‍යාපාරයක ඉහල සාධනීය මට්ටමක් පවත්වා ගැනීම සදහා වැදගත් වේ.

Download this as a PDF

Thursday, August 27, 2015

ගිණුම්කරණය (Accounting)

වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන්ට මෙන්ම සාමාන්‍ය පෙළ ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යනය හදාරන සිසුන්ටද බෙහෙවින් වැදගත් වන විෂයකි ගිණුම්කරණය. ගිණුම්කරණය යන විෂය එකී විභාග සමත් වීම සදහා පමණක් නොව වර්තමාන ලෝකයේ සියලුම ක්ෂේත්‍රයන්ට ඉතා වැදගත් වන මාතෘකාවක් බව සාක්ෂාත් වෙමින් පවතී. මෙය වෘත්තීයමය විෂයකි. ලොව පවතින රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සියලුම ව්‍යාපාර සංවිධානවලට මෙන්ම, ලාභ ලැබීමේ අරමුණක් රහිතව පවත්වාගෙන යන සමිති, සමාගම් වලට පවා ගිණුම්කරණය අත්‍යවශ්‍ය විෂය පථයක් බව ඉතා පැහැදිලිය.

ඉතාවැදගත් ඉතිහාසයක් සහිත ගිණුම්කරණය නම් වූ මෙම අපූර්ව විෂයෙහි නිර්මාතෘ වරයා ලෙස 'ලූකා පැසියෝලි' හැදින්විය හැක. ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ මිතුරකුගේ ව්‍යාපාරයක් තුල මතු වූ ගැටලු නිරාකරණය කිරීමට ගන්නා ලද උත්සහයක ප්‍රතිඵලයක් ලෙස ගිණුම්කරණය නම් වූ විෂය ජනිත වූ බව විශ්වාස කෙරේ. එහි ඉතිහාසය කෙසේ වුවත් වර්තමානය වන විට ගිණුම්කරණය තුලින් ජනිත වී ඇත ප්‍රතිලාභයන් නම් අපමණය.

ඇමරිකානු ගිණුම්කරණ සංගමයට අනුව ගිණුම්කරණය යන්න "තොරතුරු ලබාගන්නා පාර්ශව වලට විනිශ්චයක් කිරීමටත්, තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හදුනා ගැනීමේ, මැනීමේ සහ සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය" ලෙස අර්ථ දක්වනු ලබන අතර, එය ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකරණ ආයතනය විසින් අරුත් දක්වන්නේ, "යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගණුදෙනු හා සිද්ධි සුවිශේෂ ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ, වර්ග කිරීමේ, සාරාංශ කිරීමේ සහ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව" ගිණුම්කරණය වන බවයි.

කෙසේ වුවත්, ගිණුම්කරණය යනු ගිණුම්කරණ ඒකකයක හටගන්නා ගණුදෙනු හා සිද්ධීන් වාර්තා කර, ඒවා වර්ග කර, විශ්ලේෂණය කර, සාරාංශ කර ව්‍යාපාරයේ තීරණ ගන්නා පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීමේ සමස්ථ ක්‍රියාවලිය ලෙස අර්ථකථනය කල හැකිය.

ඉහත දක්වා ඇති නිර්වචනයට අනුව ගිණුම්කරණ ඒකකයක් යනු, ව්‍යාපාරයක්, පුද්ගලයෙක්, ආයතනයක්, රාජ්‍ය සංවිධානයක් හෝ ලාභ ලැබීමේ අරමුණක් රහිතව පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් විය හැක. මෙම ගිණුම්කරණ ඒකකයක හටගන්නා ගණුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ ක්‍රියාවලියකට භාජනය කරයි. එම ක්‍රියාවලිය පහත පරිදි දැක්විය හැක.


ආදානය (INPUT)
ක්‍රියාවලිය (PROCESS)
නිමවුම (OUTPUT)
ගනුදෙනු හා සිද්ධීන් හදුනා ගැනීම
සටහන් කිරීම
වර්ග කිරීම
සාරාංශ කිරීම
විශ්ලේෂණය කිරීම
ගිණුම්කරණ තොරතුරු

Friday, August 21, 2015

Accounting

ඔබට අවශ්‍ය ගිණුම්කරණය විෂය දැනුම වර්ධනය කරගැනීම සදහා මෙම ලේබලය වෙත පිවිසෙන්න.