Thursday, September 17, 2015

ගිණුම්කරණ සමීකරණය

ගිණුම්කරණ සමීකරණය ඉගෙනීමට ප්‍රථම ගිණුම්කරණයේ මූලිකම සංකල්පය වන ඒකක සංකල්පය හදුනාගැනීම ඉතා වැදගත්‍ ය.
ගිණුම්කරණ ඒකක සංකල්පයට අනුව දක්වන්නේ ව්‍යාපාරය, එහි අයිතිකරු හෝ අයිතිකරුවන්ගෙන් පැහැදිලිව වෙන්කොට හදුනාගෙන ගිණුම්කරණය කළ යුතු බවයි. ඒ අනුව ව්‍යාපාරයට අයිතිකරුවන් විසින් යොදවන අරමුදල් ව්‍යාපාරයේ බාහිර වගකීමක් ලෙස කටයුතු කිරීම කල යුතු අතර ව්‍යාපාරයෙන් අයිතිකරුවන් විසින් වත්කම් ඉවත් කරගන්නේ නම් එය ඔහු සැපයූ ප්‍රාග්ධනයෙන් අඩුකල යුතුය.
ඉහත පරිච්ඡේදය තුළ වත්කම්, වගකීම්, සහ ප්‍රාග්ධනය යනුවෙන් වචන 3ක් ඔබට දැකගත හැක. ප්‍රථමයෙන් මෙම පදයන් පැහැදිලි කරගැනීම ඉතා වෑදගත්‍ ය.
අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයසිදු අතිවන, වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන, අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති ස්පෘශ්‍ය/අස්පෘශ්‍ය සියලු සම්පත් වත්කම් ලෙස හදුන්වයි. වගකීම් යනු, අතීත ගණුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් මත ඇති වන, වර්තමානයේ ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන හා අනාගතයේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යෑමේ ප්‍රවණතාවයක් ඇති සම්පත් ව්‍යාපාරයක වගකීම් ලෙස හදුන්වයි. කෙටියෙන් ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන සියලු සම්පත් වත්කම් ලෙස හදුන්වන අතර, බාහිර පාර්ශවයන්ගෙන් ණය පදනම මත ලබාගෙන ඇති වත්කම් කොටස අප වගකීම් ලෙස හදුන්වමු.එමෙන්ම ව්‍යාපාරයේ මුලු වත්කම් වලින්, මුලු වගකීම් ඉවත් කළ පසු ශේෂවන අයිතිකරුගේ හිමිකම හෙවත් ශුද්ධ වත්කම් ප්‍රමාණය ප්‍රාග්ධනය ලෙස හදුන්වයි.

ඒ අනුව කිසියම් ව්‍යාපාරයකට බාහිර වගකීමක් නොපවතින විට, එනම්, ව්‍යාපාරයක සියලු වත්කම් අයිතිකරු/අයිතිකරුවන් විසින් ප්‍රාග්ධනයෙන් පමණක් සමන්විත වූ විට, ව්‍යාපාරයේ වත්කම් එහි ප්‍රාග්ධනයට සමාන වේ.


වත්කම් = ප්‍රාග්ධනය

දැන්, ව්‍යාපාරයේ අයිතිකරුගේ ප්‍රාග්ධනයට අමතර ව්‍යාපාරය විසින් වෙනත් බාහිර පාර්ශවයකින් ණය මුදලක් ලබා (උදා: බැංකු ණය මුදලක්) ගත්තේ යැයි සිතමු. එවිට සමීකරණය පහත පරිදි වේ.


වත්කම් = ප්‍රාග්ධනය + වගකීම්

ඉහත සමීකරණය ගිණුම්කරණයේ මූලික සමීකරණයයි.

ව්‍යාපාරයක මූලික මෙහෙයුම් කටයුත්ත වනුයේ, භාණ්ඩ හෝ සේවාවන් සැපයීමයි. මෙහෙයුම් කටයුතු හේතුවෙන් වියදම් දැරිය යුතු අතර අදායම්ද ව්‍යාපාරයට ගලා එනු ඇත. මෙම වියදම් සහ ආදායම් ව්‍යාපාරයේ අයිතිකරු විසින් මෙහෙයවනු ලබන බැවින් වියදම් ප්‍රාග්ධනයෙන් අඩුකොට ආදායම් ප්‍රාග්ධනයට එකතු කරනු ලබයි.


වත්කම් = වගකීම් + ප්‍රාග්ධනය + ආදායම් - වියදම්
ඉහත සමීකරණය අනුව පෘණ ලකුණක් ගන්නා වියදම් සංරචකය ධන ලකුණකට මාරුකර සමාන ලකුණෙන් වම් පසට ගෙන ආ විට විට,


වත්කම් + වියදම් = වගකීම් + ප්‍රාග්ධනය + ආදායම්

බවට පරිවර්තනය වනු ඇත.

Download this as a PDF

Saturday, September 5, 2015

ගිණුම්කරණ පරිසරය.

ව්‍යාපාරයකට සහ එම ව්‍යාපාරයේ ගිණුම්කරණ ක්‍රියාවලිය සදහා ව්‍යාපාරය සමන්විත වන වටපිටාව සැලකිය යුතු බලපෑමක් සිදු කරයි. එම නිසා ගිණුම්කරණය සදහා බලපාන්නා වූ පරිසර සාධක සම්බන්ධව මනා අවබෝධයක් තිබීම ගිණුම්කරණයට මෙන්ම ව්‍යාපාරයේ පැවැත්ම සහ වර්ධනයට බලපානු ඇත..
ගිණුම්කරණ පරිසරය ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර සහ බාහිර පරිසරය යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන් කල හැකිය.

අභ්‍යන්තර පරිසර සාධක සහ එහි බලපෑම.
  1. ව්‍යාපරයේ විවිධ අංශ/ දෙපාර්තමේන්තු : ව්‍යාපාරයක විවිධ අංශ විසින් අනුගමනය කරන ක්‍රියාපිලිවෙත් ගිනුම්කරණ ක්‍රියාවලියට බලපෑම් කරනු ඇත. උදාහරණ වශයෙන් ගැනුම් අංශය විසින් අනුගමනය කරන ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය, මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ණය ප්‍රතිපත්තිය ගිණුම්කරණයට බලපාන ප්‍රධාන සාධක බව හදුනාගත හැකිය.
  2. සේවකයන්: ව්‍යාපාරයක සේවකයන්ද ගිණුම්කරණයට බලපානු ඇත. සේවක වැටුප්, උසස්වීම් සම්බන්ධ වැටුප් වැඩිවීම්, සේවක විශ්‍රාම යෑම්, සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධ ගිණුම් තැබීම්, සේවක භාරකාර අරමුදල සම්බන්ධ ගිණුම් තැබීම් උදාහරණ ලෙස දැක්විය හැක.
  3. කළමණාකරණය: ව්‍යාපාරයේ කළමණාකරුවන්ගේ තීරණද ව්‍යාපාරයේ ගිණුම්කරණ කටයුතු සදහා ඍජුවම බලපායි.

බාහිර පරිසර සාධක සහ එහි බලපෑම:
ගිණුම්කරණයට බලපාන බාහිර සාධක ලෙස ප්‍රධාන වශයෙන් (PESTEL) බලපායි. දේශපාලනික, ආර්ථික, සමාජයීය හා සංස්කෘතික, තාක්ෂණික, පාරිසරික, නෛතික, පරිසරයන් PESTEL යනුවෙන් කෙටි කොට දක්වයි.
  1. දේශපාලනික හා ආර්ථික පරිසරය: ව්‍යවස්ථාදායකය විසින් තීරණය කරනු ලබන බදු ප්‍රතිපත්තිය, ගිණුම්කරණ කටයුතු සදහා බලපායි. ප්‍රධාන වශයෙන් බදු පමණක් සදහන් කලද වෙනත් දේශපාලනික සහ ආර්ථික සාධකද ගිණුම්කරණය සදහා බලපායි.
  2. සමාජ සහ සංස්කෘතික පරිසරය: ව්‍යාපාරය විසින් ඉලක්කගත කර ඇති සමාජ හා සංස්කෘතික පරිසරයද ගිණුම්කරණයට බලපායි. විශේෂයෙන් විකුණුම් හා ලාභය වෙනුවෙන් මෙහි බලපෑම ඍජුවම බලපෑමක් එල්ල කරනු ඇත.
  3. තාක්ෂණික පරිසරය: තාක්ෂණය යනු වර්ථමාන ලෝකයේ ඉතා වැදගත්ම සාධකය බවට පත් වී ඇත. තාක්ෂණය සියලුම අංශ වලට බලපෑම් කරමින් පවතින අතර, ගිණුම්කරණයටත් එය එසේමය. ගිණුම්කරණ කටයුතු සදහා තාක්ෂණය මගින් විවිධ තොරතුරු පද්ධතීන් පවා අද වනවිට සෑම ආයතනයක්ම පාහේ භාවිතා කරනු ලබයි.
  4. නෛතික පරිසරය: විශේෂයෙන්ම 2007 අංක 7 දරණු ලබන සමාගම් පනත, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් නියම කරනු ලැබ ඇති ගිණුම්කරණ ප්‍රමිත ව්‍යාපාරයක ගිණුම්කරණය වෙනුවෙන් ඍජුවම බලපායි.