Thursday, August 27, 2015

ගිණුම්කරණය (Accounting)

වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන්ට මෙන්ම සාමාන්‍ය පෙළ ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යනය හදාරන සිසුන්ටද බෙහෙවින් වැදගත් වන විෂයකි ගිණුම්කරණය. ගිණුම්කරණය යන විෂය එකී විභාග සමත් වීම සදහා පමණක් නොව වර්තමාන ලෝකයේ සියලුම ක්ෂේත්‍රයන්ට ඉතා වැදගත් වන මාතෘකාවක් බව සාක්ෂාත් වෙමින් පවතී. මෙය වෘත්තීයමය විෂයකි. ලොව පවතින රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සියලුම ව්‍යාපාර සංවිධානවලට මෙන්ම, ලාභ ලැබීමේ අරමුණක් රහිතව පවත්වාගෙන යන සමිති, සමාගම් වලට පවා ගිණුම්කරණය අත්‍යවශ්‍ය විෂය පථයක් බව ඉතා පැහැදිලිය.

ඉතාවැදගත් ඉතිහාසයක් සහිත ගිණුම්කරණය නම් වූ මෙම අපූර්ව විෂයෙහි නිර්මාතෘ වරයා ලෙස 'ලූකා පැසියෝලි' හැදින්විය හැක. ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ මිතුරකුගේ ව්‍යාපාරයක් තුල මතු වූ ගැටලු නිරාකරණය කිරීමට ගන්නා ලද උත්සහයක ප්‍රතිඵලයක් ලෙස ගිණුම්කරණය නම් වූ විෂය ජනිත වූ බව විශ්වාස කෙරේ. එහි ඉතිහාසය කෙසේ වුවත් වර්තමානය වන විට ගිණුම්කරණය තුලින් ජනිත වී ඇත ප්‍රතිලාභයන් නම් අපමණය.

ඇමරිකානු ගිණුම්කරණ සංගමයට අනුව ගිණුම්කරණය යන්න "තොරතුරු ලබාගන්නා පාර්ශව වලට විනිශ්චයක් කිරීමටත්, තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හදුනා ගැනීමේ, මැනීමේ සහ සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය" ලෙස අර්ථ දක්වනු ලබන අතර, එය ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකරණ ආයතනය විසින් අරුත් දක්වන්නේ, "යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වරූපයක් ගන්නා ගණුදෙනු හා සිද්ධි සුවිශේෂ ආකාරයට මුදල් මාධ්‍ය උපයෝගී කරගෙන සටහන් කිරීමේ, වර්ග කිරීමේ, සාරාංශ කිරීමේ සහ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව" ගිණුම්කරණය වන බවයි.

කෙසේ වුවත්, ගිණුම්කරණය යනු ගිණුම්කරණ ඒකකයක හටගන්නා ගණුදෙනු හා සිද්ධීන් වාර්තා කර, ඒවා වර්ග කර, විශ්ලේෂණය කර, සාරාංශ කර ව්‍යාපාරයේ තීරණ ගන්නා පාර්ශවයන් වෙත ඉදිරිපත් කිරීමේ සමස්ථ ක්‍රියාවලිය ලෙස අර්ථකථනය කල හැකිය.

ඉහත දක්වා ඇති නිර්වචනයට අනුව ගිණුම්කරණ ඒකකයක් යනු, ව්‍යාපාරයක්, පුද්ගලයෙක්, ආයතනයක්, රාජ්‍ය සංවිධානයක් හෝ ලාභ ලැබීමේ අරමුණක් රහිතව පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක් විය හැක. මෙම ගිණුම්කරණ ඒකකයක හටගන්නා ගණුදෙනු හා සිද්ධීන් ගිණුම්කරණ ක්‍රියාවලියකට භාජනය කරයි. එම ක්‍රියාවලිය පහත පරිදි දැක්විය හැක.


ආදානය (INPUT)
ක්‍රියාවලිය (PROCESS)
නිමවුම (OUTPUT)
ගනුදෙනු හා සිද්ධීන් හදුනා ගැනීම
සටහන් කිරීම
වර්ග කිරීම
සාරාංශ කිරීම
විශ්ලේෂණය කිරීම
ගිණුම්කරණ තොරතුරු

No comments:

Post a Comment